ලොක්කාගේ පැමිනීම

මගේ ගවේෂණ වලට ඉතිරිව තිබුනේ තව මාස හයක් පමණයි. පසු ගිය මාස දහ අටකට කිට්ටු කාලේ මගෙ ජීවිතේ බොහොම වෙනස්වුනා. ගවේෂණ දත්ත එකතුකිරීම හමාර නිසා මම දැන් වැඩි කාලයක් ගෙව්වේ මගේ ගෙදරයි. එකතුවූ දත්ත පිළිවෙලකට සකස්කරගෙන වාර්තාවකට හැරවීමේ කාර්ය මගේ අතින්ම සිදුවියයුතු දෙයක් මිස පුස්තකාල ගමනෙන් හෝ විශේෂඥ සංවාදයෙන් කළ නොහැකියි. මේ නිසා මම වැඩි කාලයක් ගෙදර ගත කළා. මේ නිසාමද කොහෙද මගේ ඉයුම් පිහුම් කටයුතු ඉක්මනින් දියුණුවට පත්වුනා.

ඒ වගේම සතියකට වරක් දෙවරක් මිතිලා හමුවීම මගේ ජීවිතේ තවත් අතකින් වෙනස්වුනා.

බලාපොරොත්තු නොවූ කෙටිකාලීන වෙනසක් ලඟදීම සිදුවන බව මට ඒත්තුගියේ සෑම් සොයිසාගේ ඊමේලයකින්.

ඇති යාන්තන්! අපෙ ලොක්කෝ මගෙ ගමනට උත්තරයක් දුන්නේ අද! ඒ කියන්නේ මම එන සතියේ ඔහෙ එනවා.

මම කරන්න බලාපොරොත්තුවෙන දේ:

රට වටේ ගමන - දවස් තුනක් විතර, කාරෙකෙන්

කෑම් සහ චක් හමුවීම - රෑ කෑම?

වාර්තාව - සැලැස්ම

මේ ඇරුනුකොට දවස් දෙකතුනක් නිවාඩු සුවයෙන් ගෙවන්න ඕන - ටවුමෙන් ඈත යන්න තැනක් තියෙයිද?

මොනවත් ගෙනෙන්න ඕනනම් ලියලා එව්වොත් බලන්නම්. එන දවසයි වෙලාවයි පස්සේ කියලා එවන්නම්.


මම සෑම්ට උත්තරයක් යැව්වා; එයාට ඕනෑ සේරම ලෑස්ති කරන බවට පොරොන්දු වෙලා.

ඊටදවස් දෙකකට පස්සේ ආ ඊමේල් පනිවිඩෙන් මට දැනුනේ ලොකු සන්තෝසයක් - ඒක පුංචි අයියගෙන්.

මං ඔහෙ සතියකට ආවොත් කන්න බොන්න නිදාගන්න දෙනවද? පවුලයි කෙල්ලොයි හරිම කැමතියි මං යනවට (කොහෙ හරි!)

මේකට උත්තර ලිව්වේ ටිකක් හිතලා බලලා.

මගෙ ලොක්කා ඇවිත් ආපහු ගියැන් පස්සේ ආවොත් නියමයි - මාස දෙකකින් විතර. ඇයි අක්කයි දුවලයි එක්ක එන්නෙ නැත්තේ? ඉන්න, කන, බොන ප්රශ්න මම බලාගන්නම්. කෙල්ලන්ට හලෝ!

මොක කිව්වත් අක්කයි දුවලයි එන්නෙ නැතිවෙයි. ගෙදර බල්ලෝ දාලා ඒ තුන්දෙනා එකට කොහෙවත් යන්නෙ නෑ; පුංචි අයියාවත් ගෙදර නවතලා තමා යන්නේ. කවදාවත් බල්ලෝ ඇති නොකරන්න මං ඒ වෙලාවේ හිතාගත්තා.

……………………..

මම පරන කාරෙකක් කුලියට ගත්තේ විකීගේ උදව්වෙන්; එයාගෙ තාත්තා ලඟ කුලියට දෙන්න කාර් හතරක් තිබුනා. රියදුරෙක් නැතුව එයින් එකක් කුලියට ගන්න වැඩි කරදරයක් නොවුනත් ගෙවන්න සුදුසු කුලියකට එකඟ වෙන්න කාලයක් ගියා. විකීට ඕනවුනේ ලාබෙට වාහනේ දෙන්නයි - මගේ ස්ථාවරය වුනේ ගවේෂණ වියදම් ඒලෙස අඩු කිරීම සුදුසු නැති බවයි. කෙසේ වෙතත් සෑම් සොයිසා පිලිගැනීමට මම ගුවන් තොටුපලට ගියේ ඊලඟ සති දෙකට වත් ‘මගේ’ යයි කියහැකි පොඩි හොන්ඩා ජෑස් කාරෙකකයි.

“වෙල්කම්! කොහොමද ෆ්ලයිට් එක?”

“කිසි ප්රශ්නයක් නෑ. කොහොමද මෙහෙ තොරතුරු?”

“කියන්න තරම් දෙයක් නෑ - බෑග් ඇරගෙන යමු ගෙදර. මොකවත් කාල බීල බැරියැයි කතා කරන්න”

මම සෑම්වත් කාරෙකේ දාගෙන ගෙදර ආවේ ගෝනිපුර නගරයත් විශ්වවිද්යාලත් හොඳින් බලාගතහැකි ටිකක් දිග පාරකින්. මග දිගට ඇති වැදගත් මංසලකුණු සෑම් සොයිසට පෙන්වා දුන්නේ සංචාරක මගපෙන්වන්නකු වගෙයි.

“ටවුම එහෙම පොඩිවුනාට ලස්සන රට නේද?”

අපි ගෙදර එනකොට උදේ එකොලහට විතර ඇති. සෑම්ගෙ කාමරේ පෙන්නලා මිනිහට සැප පහසු ඇඳුමකට මාරුවෙන්න ඉඩදීලා මම තේ හදන්න කුස්සියට ගියේ. කොට කලිසමකින් සැරසුන සෑම් කුස්සියට ආවේ රසකැවිලි පෙට්ටියකුයි විස්කි බෝතලේකුයි උස්සාගෙනයි.

“ඔවු සෑම්… ලංකාවට වැඩිය පොඩි වගේම දුප්පත් වුනාට රටයි මිනිස්සුයි අපිට වඩා දියුනුයි කියලා මට හිතෙන්නේ”

“ඒ කියන්නෙ? දුප්පත් නමුත් දියුනුයි?”

සෑම්ට රස්සාව අමතක කරන්න බෑ තේ බොනකොටවත්!

“මෙහෙ මිනිස්සු හිතන්නේ ලංකාවේ අය වගේ නෙවෙයි… අර මගෙ පලවෙනි කෙටි වාර්තාවේ කිව්වා වගේ යටත් විජිතයක් හැටියට කොයි තරම් කාලයක් හිටියත් මේ මිනිස්සු හිතෙන් ශක්තිමත් - සංස්කෘතිය දියාරු කරගෙන නෑ…. ඒ අය මුදලින් දුප්පත්වුනත් අනික් අතින් දුප්පත් නෑ. එකයි මම එහෙම කිව්වේ… තව එකක් කියන්න කැමතියි සෑම් ගෝනියාවේ මිනිස්සු හම්බවෙන්න ඉස්සර - මගෙ අත්දැකීම් නිසා මම මෙහෙම කියන්නේ…”

සෑම් පෙන්නුවේ කුතුහලයක් මිස ‘මෙයා මොනවද මට උගන්නන්නේ?’ විදිහේ අමනාපයක් පෙන්වලා නෙවෙයි.

“පලවෙනියට - මේ අයගෙ මතකේ නියමයි! ඒ කියන්නේ අපි කියපු දෙයක් විතරක් නෙවෙයි මීට අවුරුදු ගානකට ඉස්සර පත්තරේක කියවපු දෙයක් උනත් මතකයි. ඒ කියන්නේ බොරු කියලා බේරෙන්න අමාරුයි. දෙවනියට - අපි ප්රශ්නයක් නැතුව පිළිගන්න සමහරදේ මේ අය පිළිගන්නෙ නෑ. උදාහරන - ‘මිනිසාට ආගමක් අවශ්යමයි’ නැත්නම් ‘තරඟයක දිනුමක්/පැරදුමක් තිබිය යුතුමයි’ – මේවා ඒකාන්තව ඔප්පු කරලා පෙන්වන්න බැරිනම් ගෝනියාවේ අය පිළිගන්නෙ නෑ. තුන්වෙනියට - පැති බෙදාගෙන/බදාගෙන කටයුතු කිරීම මෝඩකමක් හැටියට මේ අය දකින්නේ. ඒ නිසා ඇමෙරිකාව, චීනේ, තුත්තුකුඩිය, ලංකාව… මේ සේරටම සලකන්නේ එක විදිහට - හොඳත් නරකත් එකසේ බෙදී තිබෙන තැන් හැටියට. සාමාන්ය සම්ප්‍රචාරණය, ඒ කියන්නේ ප්රොපගැන්ඩා වලින් කිසිම වැඩක් නෑ - වෙලඳ දැන්වීම් වලත් බොරු ප්රචාර බෙදලා හරියන්නේ නෑ!“

“තැන්ක්යූ උපාලී… එහෙම තැනක කකුල කටේ දාගන්න එක අමාරු නෑ නේද? මට බය තියෙන්නේ මම මොනවාහරි ගොන්පාට් එකක් දාලා උපාලිගෙ වැඩත් කාල දායි කියලා!”

“අපෝ නෑ සෑම් - මම කියන්නේ මං කරපු වැරදිවලින් ඉගෙනගත්ත දේ”

මට ඒ වෙලාවේ හිතුනා සෑම් සොයිසත් එක්ක සතිය ගතකරන එක අමාරු නැතිවෙයි කියලා.

“අපි ගිහින් දවල්ට මොකවත් කාලා එමුද?”

……………………….

මම කෑම් බාරතීටත් චක්ටත් ටෙලිෆෝන් කරලා සෑම්ට ඒ දෙදෙනා හමුවීමට වෙලාවක් සදාගත්තේ සෑම් ආපු දාට පහුවදා දවල් වරුවෙයි. මේ හමුවට සම්බන්ද නොවීමට මම තීරණේකළේ ඔවුන්ට මා ගැනත් සාකච්ඡා කිරීමට අවශ්යවන බව දත් නිසයි. නමුත් ඒ හමුවීමෙදි ගත් තීරණයක් අනුව තුන්දෙනාම සමග එදා රෑ කෑමට මටත් ආරාධනා ලැබුනා. ගෝනිපුර විශාල හෝටලයක තිබූ ඒ භෝජන සංග්රහයෙදි කෑම් ගවේෂණ වාර්තාවෙන් ගෝනියාව බලාපොරොත්තුවන දේ කෙටියෙන් කිව්වා.

“අපි හතරදෙනාම ඉන්න මේ අවස්ථාවේ මම යමක් නොකිව්වොත් ඒක මගෙ කාරිය අතපසුකිරීමක්. මේ ගවේෂණය අපේ රටට ඉතාම වටිනවා. ස්වාධීන නිරීක්ෂකයෙකුගේ සොයාගැනීම් මෙරට ගවේෂකයන්ට වැදගත් - මින් පසු සිද්ධවෙන වැඩකටයුතු වලට ශක්තිමත් අඩිතාලමක්… එයින් පැහැදිළිවෙන කරුණු දෙකක් - එක: මේ ගවේෂණයේ අවසාන වාර්තාව නිවැරදි වගේම තීක්ෂණමය වියයුතුයි. දෙක: අළුතින් මේ ක්ෂේත්‍රයට පිවිසෙන්නන් මේ අඩිතාලම මතම තම අදහස් ගොඩනැංවීමට යොමුකළ යුතුයි… මේ දෙකටම සෑම්ගෙත් උපාලිගෙත් සහයෝගය අවශ්‍යයි"



කෑම් වතුර උගුරක් බිව්වා. කතාව ඉවර නැති බව දන්න අපි නිශ්ෂබ්දවුනා.

“මම කැමතියි සෑම් අපෙ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන්ට දේශනයක් පවත්වනවානම් - ලංකාවේ, ඔබගේ විශ්වවිද්යාලේ සමාජ විද්යා ක්ෂේත්‍රයේ කාර්ය අලලා… මට අවශ්ය වෙන්නේ අපෙ අයට පෙන්වන්න ගෝනියාවට පිටින් තව විශාල ලෝකයක් තියෙනවා කියලා. මං කැමතියි අපෙ ළමයින්ගෙ යථාදර්ශනය පුළුල් කරන්න…. මට තේරෙනවා මම සෑම්ට මම මේ ඉල්ලීම කරන්නේ හදිසියේ කියලා … නමුත්…?”

“ප්රශ්නයක් නෑ - මට කතාකරන්න ඕන විශේෂ දෙයක් තියෙනවානම් කිව්වොත් ඉන්ෆෝමල් ලෙක්චර් එකක් දෙන එක අමාරුවක් වෙන්නෙ නෑ”

“තැන්ක්යූ සෑම් - මම කටයුතු ලැස්තිකරලා කියන්නම්…. මට කියන්න තියෙන අනික් දේ උපාලිටයි බලපාන්නෙ. මම චක් එක්ක මේ ගැන කතා කරලා තියෙනවා. උසස් උපාදි වලට ඉගෙනගන්නා අපෙ ශිෂ්‍යයෝ දෙන්නෙක් ඉන්නවා මේ ගවේෂණය ගැන ඉතාම උනන්දුවෙන් ඉන්න. ඒ දෙන්නත් ගෝනියාවේ සමාජය හදාරනවා, නමුත් ගෝනියානුවන් හැටියට. ඒ අයට ලොකු උදව්වක් වෙනවා පිටරැටියෙක් අපෙ රට දකින විදිහ… ඒ දෙන්නා උපාලිට ගවේෂණ සහකාරයෝ හැටියට දත්ත එකතුකිරීම, වර්ගීකරණය වැනි අවිශේෂී ක්රියා වලට සහභාගි වෙන්න ඉඩ ඇතිනම්, ඒක දෙගොල්ලටම උදව්වක් මං හිතන්නේ…. උපාලී කැමතිනම් විතරයි”

“උදව්වක් දෙන කිසි කෙනෙකුට මම ‘එපා’ කියන්නෙ නෑ! නමුත් ඒ වෙනුවෙන් මගෙන් මොනවද කෙරෙන්න ඕනෑ?”

ඒකට උත්තර දුන්නේ චක්.

“උපාලී ඒ අයගෙ සෙමිනා වලට ඇවිත් අදහස් ඉදිරිපත් කරන්න හැකිනම් අපිට ලොකු උදව්වක්. අපෙ සෙමිනා තියෙන්නේ සෑම සිකුරාදාවකම හවස හතරට. පැයකට සීමාවුනත් සමහරවිට එතනින් බීර සාප්පුවට ගිහින් සෙමිනා එක දිගටම පවත්වාගෙන යනවා!”

සෑම් හිනාවුනා.

“උපාලී අකමැති වෙන්නෙ නෑ ඒකටනම්!”

“මගෙන් ඉගෙනගන්න යමක් තියෙනවද කියලා මං දන්නෙ නෑ…. නමුත් උදව්වට දෙන්නෙක් ඉන්න එකත් තව ශිෂ්යයෝ කන්ඩායමක් හමුවීමේ ඉඩප්රස්ථාවත් මට අතහරින්න බෑ…. ස්තුතියි යෝජනාවට. සමහරවිට සෑම සිකුරාදාවකම එන්න බැරිවුනත් සෙමිනා වලට සහභාගි වීමට මම ඇත්තටම කැමතියි”

අපි කෑම කන්න පටන්ගත්තේ නැවතත් බීර වීදුරු එකට තට්ටු කරලයි.

“සෑම්ලා රට වටේ යනවා කිව්වා නේද? කවදද පිටත් වෙන්න අදහස?””

“උපාලී ලෑස්ති කරලා තියෙන්නේ අනිද්දා පිටත්වෙන්න - අපි දවස් තුනක් විතර එහෙ මෙහෙ යන්නයි අදහස. ඒ කියන්නේ තව සතියකින් මට කෑම් කියපු දේශනේ දෙන්න පුළුවන්”

“උපාලී… යන තැන් තෝරාගෙනද තියෙන්නේ?”

“හුඟක් හරියක් චක්… අර චක් මං ඇවිත් දෙවෙනි දවසේ දුන්න අවවාදය අනුවයි ගමන නිර්මාණය වෙන්නේ… කෝපි කඩ මුදලාලී කෙනෙකුගෙන්, එළවලු කඩේකින්, ටැක්සි කාරයන්ගෙන් හොඳ තොරතුරු සොයාගන්න පුළුවන් කියලා චක් එදා කිව්වේ”

“ශඃ! ගෝනියාවට ආවට පස්සේ උපාලිගෙ මතකේ දියුනුව පෙනෙන්න තියෙනවා!”

අපි තුන්දෙනාටම හිනා ගියා ඒකට.

අපෙ රට වටේ ගමන සාර්ථක වුනේ චක්ගේ මේ අවවාදය නිසා බව මට සහතිකයි. ලොකු හෝටල් වල නොනැවතී ගෝනියාවේ සාමාන්ය මිනිස්සු නවතින පොඩි ‘ගෙස්ට් හවුස්’ වල නැවතුනේ ඔවුන් මුනගැසී හඳුනාගන්නයි. උදේ කෑම වෙලාවේ අනික් අයත් සමග කතා කිරීමෙන් අපේ දැනුම සෑහෙන්න පෝෂනයවුනා මෙන්ම එදා දවසේ ගමන ගැන තීරණ ගන්නත් රුකුලක්වුනා. ගමන් මාර්ග කලින් යොදාගෙන නොතිබූ නිසා අපි දවසේ ගමන තීන්දුකළේ උදේ කෑම මේසෙදියි.

ගමනේ පළමු දවසෙදීම මගේ හිතේ තිබුන එක ප්රශ්නයකට පිළිතුරු ලැබුනා. ඒ සෑම් සොයිසා අළුත් පරිසරයට දක්වන ප්රතිචාරය ගැනයි. කොළඹ විශ්වවිද්යාල ගුරෙකුට ගෝනියාවේ පළාත්බද ජනතාවත් සමග මිත්ර ලීලාවෙන් ආශ්රය කිරීම කොයි තරම් ලේසිද/අමාරුද කියලා කලින් දැනගන්න ක්රමයක් මට තිබුනෙ නෑ. නමුත් සෑම් ඒ ක්රියාව දක්ශ ලෙස ඉටුකළා පමනක් නොව මට වඩා දක්ශ ලෙස වැදගත් තොරතුරු හාරා සොයාගත්තා.

කාරෙකේ ගියත් අපි මගදී නැවැත්තුවේ බස් නැවතුම්පොලවල් වැනි ජනයා ගැවසෙන ප්රසිද්ධ තැන් අසලයි. මෙයින් ලොකු/කුඩා කඩ සාප්පු, වෙළඳ පොලවල් පමනක් නොවෙයි පොලිස් ස්ථාන වැනි ආන්ඩුවේ කන්තෝරු වලටත් යෑමට අපිට අවස්ථාව ලැබුනා. සෑම්ගේ හැකියාවන් වලින් උපරීම ප්රයෝජන ගැනීමට මම යෝජනාකළේ නිතරම වගේ සෑම්ට සාකච්චා මෙහෙය වීම බාරදී මම සටහන් ලියාගැනීමේ කාරියේ නිරතවීමෙනුයි.

දවසේ අවසානේ අපි බීර වීදුරුවක් තොලගෑවේ එදා එකතුකළ සටහන් තෝරා බේරා වර්ග වලට බෙදා ඒවාගේ වටිනාකම සාකච්චාවෙන් තක්සේරු කොට ඉන් පසු වැදගත් කොටස් කොම්පියුටරයට ඇතුල් කිරීමෙන් පසුවයි. බොහෝ දිනවල මේ වෙනවිට අඳුර වැටී ඇති නිසා අපි රාතියේ එහෙ මෙහෙ ඇවිදින්න ගියේ නෑ. ගමනේ අංතිම දිනයේ පමනක් අපි රාත්රියේ ටිකක් ඇවිදින්නත් හෝටලයකින් රෑ කෑම ගැනීමටත් කාළය ඉතිරි කරගත්තා.

“සෑම්ට කොහොමද ට්රිප් එක? ගෝනියාව එපාවුනාද?”

අපි දෙන්නා රෑ කෑමට පෙර හෝටලයේ එලියේ සාලේ පළවෙනි බීර උගුර අරගෙනයි කතාවට බැස්සේ.

“පිස්සුද උපාලී! බොහොම කාලෙකට පස්සේ ආයෙත් ෆීල්ඩ් එකේ…. මම බයේ හිටියේ අවුරුදු විස්සකට විතර පස්සේ ආයෙ ෆීල්ඩ් එකේ යන්න - දැන් ඉතින් හැමදාම කරන්නේ ඉගෙනගන්න අකමැති හැත්තකට උගන්නන්න උත්සාහ කරන එක විතරයි…”

“කිව්වට මොකද සෑම්… මම හිටියේ බයෙන් යුනිවසිටි පොරක් මගෙ වැඩ වලට හිනාවෙයි කියලා! අනික සෑම් ගෝනියාවේ නූගත් ගැමියන්ට උඩඟු කම් පෙන්නයි කියලා… සමාවෙන්න එහෙම හිතුවටත්…”

සෑම්ට හිනා ගියා.

“උපාලී හිතුවේ මම සමාජයක් හදාරන්නේ ඒකේ විෂ බීජ වලින් බේරෙන්න අජටාකාශ ඇඳුමක් ඇඳගෙන කියලද? ….. විශ්වවිද්යාලේ තුන්වෙනි අවුරුද්දේ මම මාසයක් නෝවුඩ් තේ වත්තක ලැයිමක ජීවත්වුනා, වත්තේ වැඩ කර කර. එහෙදී තමා දෙමල ඉගෙනගත්තේ… මම ලංකාවේ ආදිවාසී වන්නියල ඇත්තෝ එක්ක සති කීපයක් ඉඳලා තියෙනවා….. ආයෙ සැරයක් වතු සුපරින්ටන්ඩ් කෙනෙක්ගෙ යාළුවෙක් හැටියට ‘කළු සුද්දෙක්’ වුනා, ක්ලබ් වලයි බංගලාවලයි කකා බිබී…. මං හිතන්නේ මට එක එක තරාතිරමේ අය එක්ක ඉන්න එක අමාරු නෑ - ඒ අතින් මට වැඩි ප්රශ්නයක් නෑ. මට උඬගු වෙන්න ඒ තරම් හේතුවක් නෑ…. නමුත් මගෙන් වෙලා තියෙන වැඩ කොටස ගැන ලජ්ජා වෙන්නෙත් නෑ!”

මටත් හිනා ගියා.

“මටයි ලජ්ජා වෙන්න හේතු තියෙන්නේ - ගොන් විදිහට සෑම් ගැන හිතුවට… සෑම්ගෙ පළපුරුද්දෙන් මොකද කියන්නේ ගිය දවස් කීපේ දැකපු ගෝනියාව ගැන?”

සෑම් සොයිසා ටිකක් සද්ද නැතුව හිටියා, මේසේ උඩ තිබුන කජු ඇටයක් හප හපා.

“මේ ප්රශ්නෙට අපි දෙන්නා පිවිසෙන විධි වෙනස් - උපාලී මිනිස්සුත් එක්ක යාළුවෙලා ඔවුන් සමග සාකච්චා කරනවා රට තේරුම් ගන්න - පිට කෙනෙක් හැටියට. මම සාමාන්යෙන් බලන්නේ සමාජය ඇතුලේ ජීවත්වෙලා නිරීක්ෂණයෙන්/අත්දැකීමෙන් රට තේරුම් ගන්නයි… මේ ක්රම දෙකම වලංගුයි. ක්රම දෙකෙන් ලැබෙන නිගමන එකිනෙකට වෙනස්වෙන්න පුළුවන් - නමුත් ගවේෂණේට සම්බන්ද නැති කෙනෙක් මේ ගවේෂණයේ ප්රතිපල නියමලෙස තේරුම් ගන්නනම් නිගමනත් ඒවා ලබාගත්ත ක්රමත් එකට සලකා බලන්න ඕන….”

“සෑම් කියන්නේ මම කාගෙවත් සල්ලියි කාලයයි සම්පූර්නෙන්ම විනාශ කරල නෑ, එහෙනම්?”

“පිස්සුද! අපි හෙට බලමු මේ ගවේෂණයෙන් ලබාගන්න පුළුවන් නිගමනත් ඒවා ලබාගත්ත ක්රමත් එකට ඈඳන්න….”

……………….

සෑම් සොයිසගෙ දේශනය ඉතාම සාර්ථකවුනා. ඒ වගේම කොළඹ විශ්වවිද්යාලයෙත් ගෝනිපුර විශ්වවිද්යාලයෙත් සමාජවිද්යා අංශ අතර කිට්ටු සම්බන්දකම් ඇතිකරගැනීමට මුල් පියවර ගත්තෙත් එදයි.

සෑම් සොයිසගෙ රාජකාරී කටයුතු නිමාවූ දිනයේ මගෙ ගෙදර පොඩි උත්සවයක් පැවත්වුනා මගේ මිත්රයන්ට. එදා රෑ සෑම් කළ ස්තුති කතාවේ කොටස් මට තාමත් මතකයි.

“… මෙතන දැන් ඉන්නේ වැදගත් ගවේෂණයක කොටස්කරුවෝ. ඒ ගවේෂණයේ ප්රතිඵල …. ප්රාථමික ප්රතිඵල… වලින් කියවෙන එක දෙයක් මගෙ මොලේටත් හදවතටත් කෙලින්ම වැදුනා… ලංකා සහ ගෝනියා සමාජ කොයි තරම් වෙනස්වුනත්, ආන්ඩු ක්රමයේ පටන් බීර බීම දක්වා (හිනා) වෙනස් වුනත්, උපාලිත් උපාලිගෙ මිත්ර රාහිතුත් අතර කිසි වෙනසක් මම දකින්නෙ නෑ …අ…අ… උපාලිගෙ වයසයි…. සමස්ත අදක්ශතාවයයි … කැත මුහුනයි… වගේ සුළු දේ ඇරුනකොට…. ඒ නිසා මම ඊලඟ බීම වටය කැපකරන්නේ … මේ ගවේෂණය සාර්ථක කරගැනීමට මුල්වූ උපාලිගෙ මිත්ර කැලටයි!”